Subscribe Us

නුඹත් ...උලළේනෙක් වෙයන්.. ඉඳහිට දුක අහනා ..

නුඹත් ...උලළේනෙක් වෙයන්.. ඉඳහිට දුක අහනා ..


 ආදරේ... ආදරේ කියන්නෙ අයිති කරගැනීම කියලා පිරිසක් කියනවා. ආදරේ කියන්නෙ අත්හැරීම කියලා තවත් පිරිසක් කියනවා. ඔය දෙකටම වඩා වෙනස් මතයක මම ඉන්නේ. ආදරෙයි කියන්නේ අයිති කර ගැනීමෙන් පසුවත් අත්නොහැර ආදරේ ලබා දීම කියලා මම කියනවා .ඇත්තටම ආදරේ කියන්නේ ඒක නෙමේ ද? අපි කාවහරි අයිති කර ගත්ත ගමන් "හා ..,එයා මගේ එයා දැන් මගේ නේ. දැන් මොකටද ආදරෙන් සලකන්නේ "කියලා හිතන මිනිසුන් කොටසක්  ජීවත්වෙන සමාජයක අපි තවමත් ජීවත් වෙන්නේ. නැහැ.., ඒක වැරදියි .අයිති කර ගත්තු ගමන් ආදරය නතර නොවිය යුතුයි.වාසනාවට මට ඉන්නේ එහෙම ප්‍රේමවන්තයෙක්. මම හැමදාම විඳවනවා එහෙම තැන් වල.

Photo by Will O on Unsplash


"මැණික , ඔයා ඉස්සර ඔහොම නෑ .මාව යාලු කරගන්නකම් ඔයා මාර හොඳයි. දැන් තමයි ඔක්කොම ලොකුකම්". 

  "විභාගේ ඉවරවුණාට  පස්සේ පාඩම් කරන්න බෑ බබා.. තේරුම් ගන්න ..මම බිසී. ඉස්සර වගේ මල් කඩන්න, හොයන්න වෙලා නෑ."

හැමදාම මම හොයනවා ,ආදරය. ඔහු මට මුල දී ලබා දුන් ආදරය. නමුත් ඔවුන්ට මතකයි ඒ ආදරය.  ගැහැනුන්ට උවමනා ගහ මරන් හරි එකට ඉන්න ජීවිතයක්. ඉතින් .."ලස්සනට කොච්චර ගී කිව්වත් අනුන්ගේ කූඩුවක හුරතල් වෙන කොවුලෙක්ගෙන් ගෙන් මට ඇති ප්‍රයෝජනය මොකක්ද?" ඉඳල හිටලවත් දුක අහන්න පුලුවන්නම්, හිනස්සන්න පුළුවන් නම් ඒකයි වටින්නේ.

සතුටට වඩා දුකට තුරුළු වෙන්න පපුවක්, ඉහ ගහන් ඉන්න උරහිසක් මම විතරක් නෙමෙයි හැම ආදරවන්තියක් ම හොයනවා. හැම ආදරවන්තියක් ම ප්‍රාර්ථනා  කරනවා. එහෙම ආදරයක් එක්ක ගෙවෙන ජීවිතයක් ගැන හීන මවනවා.ඒත් ගෑණු හිත් හොයන ඒ වගේ පපු, උරහිස්, කීයෙන් කී දෙනාටද ලැබෙන්නේ....

කොවුලෙක් මොටද

 මට මිහිරි ගී ගායනා 

උලළේනෙක් වෙයන්

 ඉඳහිට දුක අහනා ..

ආදරේ එක තැන පල් වෙන දෙයක් නොවන බව නුඹ උගත යුතුයි .ආදරය නිතර දෙදෙනා අතර බෙදී යා යුත්තක් බව නුඹ උගත යුතුයි. ඒ නිසාම මම මුලින් මට හමුවූ ඔබට තවම ආදරය කරනවා .තවම ඔහුව සොයනවා ඉස්සර හරි අපූරුවට හිනා උනා. හරි ඕන කමෙන් මං ගැන හොයලා බැලුවා. එයාව මම හොයනවා. සුළඟ එනකන් මට බලන් ඉන්න බැහැ. ඒ නිසයි මම නුඹව අවුස්සන්නේ, රිද්දන්නේ,අවධානය ලබා ගන්න බොහෝ දේ කරන්නේ .මට ඕනහබලක්.මම මහා විශාල රුවල් නැවක් නෙවේ. දියඹේ තනිවෙලා ඉන්න මේ ඔරුව ගොඩබිමට ගෙනියන" හබලක්" විතරයි මට ඕනේ .ඒත් හැම තිස්සේම නුඹේ ලෝකෙ වැහිල යන්නේ මහා විශාල රුවල් නැව් වලින්මයි.

රුවලක් මොටද 

සුළඟක් එනතුරු සිටින

 හබලක් වෙයන්

 ඔරුවක් වෙරළට ගේන ..


අපි ජීවිත කාලයක් පුරාවට ආදරය කරන්නේ එක වතාවක් නෙවෙයි මුත් කිහිප දෙනෙකුට ආදරය කළත් සමහර විට අපේ අවසාන ප්‍රේමය අපේ මුළු ආත්මයම විනිවිද දකින ආදරය වෙන්න පුළුවන්. අපි ආදරෙන් බොහෝ දෑ බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. නුඹ ,මට ඒවගේ මීට බොහෝ කලකට පෙර මුණගැසුනු මගේ ජීවිතේ විශාල ම ඉඩකඩ හිමිකම් කියන්නේ නුඹ. නුඹට මං ඒ අයිතිය ලබා දුන්නේ හොඳටම සිතා බලාය .නුඹේ අඩුවක් වත් මට පේන සෙනෙහසේ අඩුවක් වත් නැහැ. නමුත් නුඹ ආදරය අයිතිකර ගත් පසු අතහැර දමන ජාතියේ පිරිමියෙක් ඇයි මට ද සිතෙති.


ආදරය හිමිකර ගත් පසු එය වඩ වඩාත් ආරක්ෂා කරගත යුතු බව නුඹට දැනෙන්නේ නැතුව ඇති. ඒ නිසා පුංචි පුංචි රණ්ඩු වලටත් සුළඟට වැනෙන නටුවට වගේ නුඹ දෝලනය වෙනවා .හැබැයි මැණික , ඊට වඩා වටින්නේ මල මුර කරන කටුව. මොකද මලක් නෙලා ගන්න එන  කවුරු වුනත් මුලින්ම කටු වලින් පරිස්සම් වෙන්න ඕන.


නටුවක් මොටද 

මට ලා  සුළඟට සැලෙන

කටුවක් වෙයන් 

මල් නටුවක්  මුර කරන…


"ආදරය යනු ඒ බව නුඹ කලක් යන විට වටහා ගනීවි."


මෙම සිතුවිල්ල මගේ ද ,ඔබේ ද, ආදර කතාව හෝ ආදරයේ වේදනාව නොවන අතර සමාජයේ එවන් ආදරණිය ශෝකාලාපයන් හිතෙහි සනිටුහන් වූ  සුජීව හෙට්ටිතන්ත්‍රි ගේ ඉතා අපූරු සංකේත භාවිතා කරමින් රචනාවූ ගී පදපෙලක අපුර්ව හිතළුවකි.ඝෝෂාකාරී සංගීතයෙන් මිදී සුභාවිත සංගීතය වෙත සිත් අලවන නාද රටාව නිර්මාණය කරන්නේ අරුණ ගුණවර්ධන මහතා වන අතර ගීතය ගායනා කරනු ලබන්නේ සමනලී ෆොන්සේකා විසිනි.


අන්තර්ජාලය ඇසුරෙනි.

Post a Comment

0 Comments