Subscribe Us

සිංහලයාගේ නිරෝගිකම නැති වුණ හේතුව....?

 

සිංහලයාගේ නිරෝගිකම නැති වුණ හේතුව….?

ආහාර රසකරනය ලංකාවේ ජනතාවට නුහුරු දෙයක් නොවේ. තුනපහේ නොහොත් ලුනු ඇඹුල් හා පස්කුලු බඩු යොදා ගනිමින් කළ මේ රස කරනය නිසා ආහාරයේ සුවඳ මෙන්ම ගුණයද ආරක්ෂා විය. වැඩි වර්ධනය විය. එසේම ජීර්ණයට පහසු කරවිය.  රුචිකත්වය ඇති කිරීමටද විස නැසීමටද ප්‍රධාන වූ කහ මේ කුලු බඩු අතරින් ප්‍රධාන වී යයි කිය හැකිය. වසර දහස් ගණනාවක් තිස්සේ ආහාරයට කරන ලද මේ සාත්තුව නිසා සිංහලයන්ගේ නිරෝගීකම මැනවින් ආරක්ෂා වූහ. මෙයට පදනම් වූයේ ආයුර්වේද ශස්ත්‍රයයි. නමුත් යටත් විජිතකරණයෙන් පසුව ලංකාවට හඳුන්වාදෙනු ලැබූ විවිධ ආහාර වර්ගයන් රසකර ගැනිමට කෘතිම ලවණයන් යෙදීම ජනප්‍රිය වූයේ අසූව දශකයෙන් පමණ පසු බව කිව යුතුය. එයට හේතුව නවීන විද්‍යාවේ ආහාර තාක්ෂණය දියුණු වීමයි. ආහාර නරක් නොවී කල් තබා ගැනීමටද ආහාරයේ පෝෂණ සංගුණකයන් වැඩි වර්ධනය කිරීමටද රසය වැඩි කිරීමටද මේ කෘතිම රසකාරක යොදන බව නවීන් ආහාර තාක්ෂණ වේදීන් පවසයි.  ස්වභාවිකව හමුවන රසකාරක යොදනවාට වඩා කෘතිමව සකස් කර ගන්නා ලද රසකාරක වලට ජනතාව පුරුදු පුහුණු කරවීමෙන් වානිජ ව්‍යාපාර දියුණු කරලීමට හැකි බව ප්‍රබල සමාගම් තේරුම් ගත්හ. ඒ අනුව ඔවුහු රසායන ද්‍රව්‍ය කර්මාන්තය ව්‍යාප්ත කරලීමට මුදල් යෙදවූහ..

Photo by Léo Roza on Unsplash

           වට්ටානා පරිප්පු හෝ කව්පී ඇතුලු අඩුවැඩිය යොදා සකස් කරන  වඩය දෙමළ මිනිසුන් ගේ රස කෑමකි. එහි අන්තර්ගතයට අද නොයෙකුත් දෑ එකතු කර තිබේ. ස්වභාවිකව ලැබෙන ලුණු වෙනුවට මොනෝ සෝඩියම් ග්ලූටමේට්( MSG) නම් ආහාර රසකාරකයක් මෙයට එකතු කරති. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ දි අජිනොමොටෝ වෙයි. ජපානයේ දී 1909  දී කිකුනෙ අකිඩා විසින් නිර්මාණය කරන ලද මේ ලවණය පසුව 1917 දී සුසුකි සමාගමේ මහා පරිමාණ නිෂ්පාදනයක් වශයෙන් එළිදක්වන ලදී. දැන් රටවල් විශාල ප්‍රමාණයක ආහාර රසකාරකයක් ලෙසට මෙය භාවිතා කරමින් ඇත. ලංකාවේ ආහාර පාන වෙලෙඳසල්වලට මේ ලවණය දැන් නැතිවම බැරිව තිබේ. ව්‍යංජන රසකාරකයක් ලෙසට පැටිස් හෝ රෝල්ස් රසකාරකයක් ලෙසට බිස්කට් රසකාරකයක් ලෙසට මෙය විශාල පරිමාණයෙන් භාවිතා කරති.හන්දියේ කඩ මණ්ඩියේ තිබෙන වඩේ කරත්තයට මෙම ලවණය නැතිවම බැරිය. ඊට අමතරව පොල්කුඩු සහ පාන්පිටි ද වඩයට එකතුකරන්නේ රසය වැඩි කරලීමටයි. ඒ සමගම ලාභයට ලබා ගන්නා (ආර්.බී.ඩී.) තෙල් නොහොත් රසායන ද්‍රව්‍ය යොදා සුද්ද කරන ලද ෆාම්තෙල් මගින් මේ වඩය ගැඹුරු තෙලේ බැදෙන්නේ ය.


       අජිනොමොටෝ නිසා මොළයේ ස්නායු ආබාධයට පත් වන බව සොයා ගෙන ඇත. එයට හේතුව මෙම ලවණයට පදනම් වන ග්ලූටමික් අම්ලය මගින් මොළයේ මතකය සම්බන්ධ ස්නායු දැඩි ලෙසට උත්තේජනය කරන බැවිනි. මේ නිසා කාලයක් මේ ලවණයේ ආභාෂය ලබන්නා පාකින්සන් වැනි රෝග වලට නිතැතින් භාජනය වේ. ඊට අමතරව ස්නායු පද්ධතියේ අසමබරතාවය නිසා පිළිකා ශෛල වර්ධනය වීමද මේ මගින් සිදු වේ. සාමාන්‍ය යෙන් ලාංකික ජනතාවට ග්ලූටමික් අම්ලය ලැබෙන ප්‍රධාන ආහාරය වශයෙන් ගැනෙන්නේ බත්ය. වෙසෙසින්ම සිංහල සහල් වල මෙම ග්ලූටමික් අම්ලය අධික වශයෙන් අඩංගු වේ යයි කැලිෆෝනියා විශ්ව විද්‍යලයේ කරන ලද පර්යේෂණයකින් සොයාගෙන ඇත.අපේ අම්මලා කුඩා දරුවන්ට සහල් නිවුඩ්ඩෙන් සෑදූ අග්ගලා කන්නට දුන්නේ මේ නිසාය. සහල් පිටිත් කොහොල්ලෑ හෝ කොස් ඇට පිටිත් එකතු කළ කල්හි වඩේ ලෑල්ලේ තිබෙන රසයට වඩා වැඩි රසයක් ලබා ගත හැකි වඩේ ගෙදරදීම සාදා ගතහැකි යයි බොහෝ අය නොදනිති.ගස්යට කොස්ඇට  වැටී නරක් වී යද්දී අජිනොමොටෝ වලට වහල් වන රටක සෞඛ්‍ය පිළිබඳව ක්‍රියා  මාර්ග ගැනීම ඉතාමත් අසීරුය. වර්තමානයේ බහුල ලෙසට පැතිර තිබෙන ඩෙංගු වෛරස වලට ශරීරය ඔරොත්තු නොදෙන්නේ මේ රසායනික ලවණයන් නිසා බවද පෙන්වා දිය යුතුය. වඩේ ලෑල්ලේ වෙළෙඳාමෙන් පවුලක් නඩත්තු කරන දුප්පත් කම නැතිකරගන්නා පිරිස අපමණ බව අප දනිමු. එහෙත් එය කළ යුත්තේ අප කාගේ කාගේත් සෞඛ්‍ය රැකෙන පරිද්දෙනි.


                  දුප්පතාගේ වෙසෙසින්ම නාගරික දුප්පතාගේ බඩගිනි නිවන පාන් ගෙඩිය හා වෙනත් බේකරි නිෂ්පාදනයන් නිසා ලංකාවේ ගොවියාට සෙතක් නැත. එහෙත් සහල් පරිභෝජනය වැඩි කරලිය හැක්කේ එකවර පාන් බනිස් පරිභෝජනය ඉවත් කිරීමෙන් නොවේ. සහල් ආශ්‍රිත නිෂ්පාදන බේකරි ක්‍රමයට ක්‍රමානුකූලව පරිවර්තනය කරලීමෙන් පමණක් මෙය කළ හැකිය. මීට වසර තිහකට පමණ එපිටදී බේකරි හිමියන් යොදා ගත් අමුද්‍රව්‍ය ඉතාමත් ස්වභාවික දෑ විය. මාගරින් ඊශ්ට් ආදිය පමණක් නොව තිරිඟු පිටිද යම් තරමකින් ස්වභාවික විය. බිස්කට් වලට ගන්නා අමුද්‍රව්‍යයන්හි තත්ත්වයද එලෙසම විය. එයට එක් හේතුවක් වූයේ නිෂ්පාදන සමාගම් අතර වැඩි තරඟයක් නොවීමයි. එදා දේශීය කර්මාන්ත වශයෙන් ඇරඹි මැලිබන් හා විලියම්ස් වැනි ආයතන මගින් ජනතාවට සරිලන යහපත් ආහාර සැපයීමට උත්සුක වූ හැටි අපට මතක් වෙයි. නමුත් වර්තමානය එලෙස නොවේ. තරඟකාරිත්වය නිසා එකිනෙකා පරයා තම නිෂ්පාදන වලට ඉහළ ඉල්ලුමක් ලබා ගැනීමට නොයෙකුත් රසායන වර්ග භාවිතා කරන්නට පටන් ගෙන ඇත.


        එහි එක් ද්‍රව්‍යයක් වන්නේ බිස්කට් ඇමෝනියා නොහොත් ඇමෝනියම් හයිඩ්‍රජන් කාබනේට් නම් රසායන ද්‍රව්‍යයි. මෙය බිස්කට් වලට පෙනුමක් ගෙන දෙන්නකි.කරකරස් ගා හැපෙන ගතිය ගෙන දෙන්නකි. මෙහි රසදිය ආසනික් ඊයම් වැනි ලෝහමය දව්‍යයන්ද සුලු ප්‍රමාණයෙන් අන්තර්ගත වන අතර බේකරි හිමියන් මෙන්ම මහා පරිමාණ නිෂ්පාදන සමාගම්ද මේවා යොදා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන්නේ ඒවායේ ක්‍රියාකාරිත්වය නිසාවෙනි. එයට අමතරව රස ගැන්වීම පිණස භාවිතා කරන රස කාරක විශාල ප්‍රමාණයකි. මේවාද රසායනික ලවණයන්ය. ඇමෝනියම් ලවණ මෙන්ම මෙවැනි රසකාරකයන්ද වැඩිතරම ශරීරයට එක්කාසු වීමෙන් ආමාශයේ ක්‍රියාකාරිත්වය දුර්වල වන අතර ආහාර නොදිරවීමෙන් පටන් ගෙන අම්ල පිත්ත රෝගය හටගැනීම දක්වා එය වර්ධනයය වේ. එයට අමතරව ශරීරයේ ප්‍රතිශක්තිය හින වීම මගින්  බැහැරින් එන රෝගාබාධ වලට නිරන්තරයෙන් ශරීරය ගොදුරු වනවා නියතය.මාගරින් වර්ගද එසේමය. දැනට පාන් නිපදවීමට ගැනෙන මෙවැනි වර්ග සියල්ල ඌරු තෙල් සහ වෙනත් ඉවත්කරන තෙල් වර්ග වලින් සාදා ගන්නා අඩු මිළ ද්‍රව්‍යයන්ය. පාන්ගෙඩියේ පිපීම මෙන්ම අදෙන ගතියද එයින් ශක්තිමත් වෙයි. බටර් හෝ සැබෑ මාගරින් යොදා සාදන බේකරි නිෂ්පාදනයන්හි මිළ අධික බව කිව යුතු නොවේ.


        රසකාරක යෙදීමේ ප්‍රවණතාවය පසුගිය දශක දෙක තුළ දී විශාල වශයෙන් වැඩි වී ඇත. මෙයට තවත් හේතුවක්ව ඇත්තේ ලංකාවේ රාජ්‍ය ආයතන වන කාර්මික සංවර්ධන මණ්ඩලය හා කාර්මික තාක්ෂණ ආයතනයන්හි ආහාර විද්‍යඥයන් පවා මේවා අනුමත කිරීමයි.කෙසේ වෙතත් වර්තමානය වන විට කුඩා දරුවන්ගෙන් විශාල ප්‍රමාණයකට දියවැඩියා රෝගය ඇත.ක්ෂණික නූඩල්ස් වැනි ආහාර නිරන්තර පර්භෝජනය නිසා මේ අයගේ තරබාරුව වැඩිවී තිබේ. ඔවුන් ගෙන් වැඩි පිරිසක් ගණිතය අසමත් වන්නේමේ රසායන උත්තේජනයෙන් මොළයේ සියුම් ස්නායුන්ට සිදුවන ආබාධ හේතුවෙනි.මේ නිසා තර්කානුකූල බුද්ධිය දරුවන්ට අහිමි වී ගොසින්ය. රජරට වකුගඩු රෝගය පිළිබඳව සමාජයේ අවධානය යොමු වීමෙන් දැන් සෞඛය අංශ වලද ඇහැ ඇරී තිබේ. ඒ අනුව පසුගියදා  ඇලොයින් බර්බරරීන් බීටා- ඇසරෝන් සීනමයිල් ඇන්ත්‍රක්සිලේට් කේඩ් ඔයිල් කැලමස් ඔයිල් කොකේන් කුමරීන් ඩයිඑතිලීන් ග්ලයිකෝල් ඩයිඑතිලීන් ග්ලයිකෝල් මොනෝඊතයිල් ඊතර් එස්ට්‍රගෝල් ඉයුජිනයිල් මීතයිල් ඊතර් හයිපරිසීන් නයිට්‍රොබෙන්සීන් පයිරොලිජිනස් ඇසිඩ් සැප්රෝල් සැන්ටොනික් සාසප්‍රස් ඔයිල් තුජෝන් අයිසොතුජොන් ඇල්පා ඒ බීටා තුජෝන් ටොන්කා බීන් ආදී රසකාරක විස්සක් තහනම් කර තිබේ. නමුත් මොනෝසෝඩියම්ග්ලූටොමේට් හෙවත් අජිනෝමෝටෝ ඩයිසෝඩියම් 5 ග්වානිලේට් ඩයිසෝඩියම් 5 ඉනොසිනේට් යන ද්‍රව්‍යයන් තුන තහනම් කර නොමැත. මේ තීරණයන් ගන්නා අතරම යම් රසකාරකයක් ආනයනය කරන්නේ නම් ඒවායේ නිෂ්පාදන රටේ ආහාර සුරක්ෂිතතා සහතිකයක් අවශ්‍ය බවද දන්වා ඇත. මේ  නම් හොරාගේ අම්මාගෙන් පේන ඇහීමකි. මේ කෘතිම රසායනයන් කිසිසේත්ම මනුෂ්‍යයන්ට යෝග්‍ය නොවන බවට  දැනටමත් සමාජය තුළින්ම තහවුරු වී ඇත.වෙනත් සහතික අවශ්‍ය නැත.තහනම් කර ඇති ඩයිඑතිලීන් ග්ලයිකෝල් ආහාර බැඳුම් ද්‍රව්‍යයක් ලෙසය යොදා ගන්නා අතර ඒවා තීන්ත නිෂ්පාදනයටද කෝක් වර්ග නිෂ්පාදනයටද යොදා ගැනේ. මේවා නිසා ආහාර ජීර්ණ පද්ධතියේ ආසාදන හටගත හැකිය.තහනම් කර නොමැති අජිනෝමොටෝ නිසා ඇති වන සෞඛ්‍ය අනාරක්ෂිත බව දැනටමත් ඔප්පු වී තිබේ. ඒ නිසා මේ තහනම් කිරීම පිටිපස ඇත්තේ මේවා ගෙන්වන සමාගම් හා සමග ඇති කර ගත් එකඟතාවයන් බව සහතිකය.වසකෑම පිළබඳව සමාජය තුළ ඇතිවී ඇති ආතතිය සමහන් වූ පසු මේවා නැවතත් ගෙන්වීමට අවසර ලැබෙන බව නම් නිසැකය.

Post a Comment

0 Comments