Subscribe Us

පාරම්පරික සහල් පරිභෝජනයෙන් ගැබිණි ඔබට නිරෝගී දරු සම්පත්.

 පාරම්පරික සහල් පරිභෝජනයෙන් ගැබිණි ඔබට නිරෝගී දරු සම්පත්.

කාන්තාවක් මව් පදවිය ලැබීම සොබා දහමට අනුව අරුමයක් නොවේ. නමුත් විවිධ සංස්කෘතීන් පවතින ලොව තුල මව් පදවිය තක්සේරු වන්නේ වෙනස් ලෙසටයි. ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කිව හැකි සිංහල ජන සමාජය  මව් පදවිය ඉතා උතුම් කොට සලකයි. ඒ නිසාම මවක් බවට පත් වීම පමණක් නොව ගැහැණූ ළමයෙකු වැඩිවිය ට පත් වීමද වෙසෙසියාවක් වේ .  නිරෝගීමත් දරුවෙකු  බිහි කරලීමෙන්  අනාගතයේ දී උසුලනු ලබන ජාතික වගකීම දරා ගැනිමට ශක්තිය  ඇති වන බව පැරණි සමාජය විශ්වාස කරලීම ඊට හේතුවයි.නිදසුනක් වශයෙන් ලංකාවේ ප්‍රධාන ආර්ථිකය බවට පත්ව තිබූ ගොවිකම පවත්වා ගෙන යාමට අවශ්‍ය ශක්ති සම්පන්න ශ්‍රම සම්පත  දැක්විය හැකිය. එය ඇති වන්නේ නිරෝගීමත් දරුවකු බිහිකරලීමෙන් පසුව බව පැරණියන් තේරුම් ගෙන සිටියහ. එසේම ගැහැණු ළමයෙකු නිරෝගීව වර්ධනය වීම ද ජාතිය බිහිකරලීමට ඉවහල් වන බව ඔවුහු තේරුම් ගෙන සිටියහ.
          ගැබිණියක්  දසමසක් (චන්ද්‍ර මාස දහයක් ) තුල සිය කුසෙහි දරුවා රඳා ගෙන සිටීම ස්වභාවික දෙයක් ලෙසට අතීත සමාජය සලකා ඇත. එහෙත් ගැබිණි අවදියේ දී ඇයට ඇති විය හැකි අපහසුතා වළක්වාලීමට විවිධ ආහාර තහංචි අනුගමනය කිරීමක් ද විය. අපත්‍ය ආහාර පරිභෝජනය කිරීම නිසා මවගේ ලේ දූෂ්‍ය වී කුස තුල සිටින බිළිඳා ගේ සිරුරේ රත ඇති වන බව වෙද පොත පතේ කියා දී තිබේ. මේ නිසා තෑම පරිහරණයේ දී ඇය බෙහෙවින්ම පරෙස්සම් විය යුතුයයි සම්මතයක් විය.
       දරුවා කුස දරා සිටින මුල් මාස තුන ගැබිණියන්ට බෙහෙවින්ම පීඩා කාරි නමුත් ක්‍රමයෙන් එම අපහසු කම් දුරු වී යයි. එහිදී එක් එක් මාසයට ගැලපෙන ඖෂ වර්ග නියම කරලීමක් ආයුර්වේදයේ ඇත. කෙසේ වෙතත් අවසාන මාස වලදී ගර්භය  සැහැල්ලු කර ගැනීමටට අවශ්‍ය ශක්තිය මවට ලැබිය යුතු වන අතරම දරුවා ද සුවෙන් සිටිය යුතුය. මේ සඳහා පැරණියන් ගැබිණියට ලබා දුන් ඖෂධ වර්ග මෙන්ම ආහාර වර්ග ද විවිධය. ගර්භය පහුසුවෙන් පහත හෙළිමට නම් අපාන වාතය (මළ මුත්‍රා හා ගර්භය පහත හෙළන වාත ශක්තිය ) හීන නොවී ශක්තිමත් විය යුතුය. එහි දී සුදු ලූනු බැබිල මුල් කසායට තිප්පිලි ප්‍රතිවාප දමා දීම සිරිතකි. එයට හේතුව සුදුලූනු මගින් මේ වාත වේගය ශත්තිමත් කරලීමයි.   
          විසිවන සියවස මුල් භාගයේ දී ගමක ඇති  වූ සිද්දියක් මේ සමගම මට මතකයට නගා ගත හැකිය. එකල ගම් ප්‍රදේශ වලට හෝ වතුවලට පත් කරන ලද ඉංග්‍රීසි වෛද්‍ය වරුන් හැඳින්වීමට ඇපොතිකරි යන නාමය භාවිතා කළහ. ගමක ගැබිණියක් දරු ප්‍රසූතිය සඳහා සූදානම් වූ නමුත් පහසුවෙන් එය සිදු නොවූ නිසා මේ ඇපොතිකරි වරයා කැඳවීය. නගරයෙන් පැමිණි බැවින් එකළ එම වෛද්‍ය සේවය ගැමියා ගෞරව සම්ප්‍රයුක්තව සැලකිමට පුරුදු ව සිටියේය. නමුත් දරු ගැබ ස්වභාවිකව එළියට ගැනීමේ පිළියමක් ඔහු සතු නොවීය. එවිට ගමේ වෙද මහතා මතක් වූ නිවැසියන් කලබලව ඔහුද කැඳවා ගෙන ආයේය. ලෙඩා සෝදිසි කළ වෛද්‍ය වරයා වහා කරුණු තේරුම් කර ගත්තේ නාඩි පරීක්ෂා කිරීමෙනි. අනතුරුව පැසුණු කොස් ගෙඩියක් කඩන්නට අණ කළ වෙද මහතා ගෙදර කුඹුක් ගහ ළිඳෙන් හොඳ හැටි නාකියා ගත්තේය. අනතුරුව තැම්බූ කොස් ආහාරය ට ගන්නා ලෙසද උපදෙස් දුන්නේය. ගත වූයේ ටික වේලාවකි.බිළිඳා ගේ හැඬීම කාහටත් ඇසෙන්නට විය. ඇපොතිකරිවරයා විශ්මයට පත්ව නොකියාම යන්නට ගියේය. සිදුව ඇත්තේ මවගේ අපාන වාතය හීන වී තිබීමයි. එවිට පහසුවෙන් දරුවා එළියට නොපැමිණෙයි. කොස් කෑම නිසා වාත කෝපය ඇති වූ අතර අපාන වාතයද ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේය. මේ විද්‍යාත්මක හේතුව වෙද මහතාගෙන් දැන ගෙනම ඇපොතිකරි වරයා පිටව ගියේ නම් වර්තමානයේ සිදු වන සීසේරියන් සැත්කම් රාශියක්ම රොහල් වලින් නතර කරගන්නට ඉඩ කඩ තිබුණු බවද කිව යුතුය.තවමත් සිංහල වෙද මහතුන්ගෙන් ඉගෙනීමට බටහිර වෛද්‍යවරු නොකැමතිය.

        ගර්භය සැහැල්ලූ කර ගැනීමට පෙර සඳහන් කළ  අගනා ඖෂධ  ගන්නා අතරම කුසේ සිටින දරුවා ගැනද ඇය කල්පනා කළ යුතුය. එහිදී දරුවා නිරෝගීමත් ලෙස දොරට වැඩමවීමට අවශ්‍ය ආහාර ඇය ගත යුතුය. බත් අපගේ ප්‍රධාන ආහාරය බව සැබවි. නමුත් වර්තමානයේ රටේ බහුතරයක් ආහාරයට ගන්නේ අභිජනනයෙන් පසු වගා කරන ලද වී ප්‍රභේදයන්හි සහල්ය. වැඩි අස්වනු ඇති කර ගැනීමට පමණක් මෙසේ වැඩි දියුණු කරන ලද බැවින් එහි ගුණාත්මය හීන වීඇත. එසේම රසායනික වසවිස යෙදීම නිසා මේවා ආහාරයට ගැනීමෙන් විවිධ ලෙඩ රෝග වලටද බඳුන් විය හැකිය. පැරණි සිංහල ජනතාව වැඩි වශයෙන් භුක්ති විඳින ලද්දේ දේශිය පාරම්පරික සහල් වර්ගයි. ඒ අතර ගැබිණියන්ට සුදුසු සහල් වර්ගද විය. වෙසෙසිසන්ම ඇල් සාල් හි බත ඇයට සුදුසු වන්නේ ඒවා සෞම්‍ය වන බැවිනි. හේන් වල වැවෙන ඇල් සාල් ද මඩේ හෝ ගොඩ වැවෙන ඇල් සාල් යනුවෙන් දෙවර්ගයකි. ගංතුඹ ඇල් නමින් යුත් ඇල් වී වර්ගය මා අවසාන වරට දුටුවේ කුකුලේ ව්‍යාපාරය ආරම්භ කරන අවදියේ දීය. එම ජල විදිලි බල ව්‍යාපාරය නිසා සහ අක්‍රමවත් තේ වගාව නිසා මේ ඇල් වර්ග වර්තමානයේ දී අභාවයට පත් වී තිබේ. නමුත් පොලැල් නම් වූ ඇල් වර්ගය ගොඩ හෝ මඩේ වගා කිරීමට තවමත් හැකියාව ඇත. මේ වර්ගය ගැබිණියන්ගේ ආහාරයට ඉතාමත් උචිතය. සෙම් පිත් නසන බැවින්ද මිහිරි රසයෙන් යුක්ත හෙයින්ද ගැබිණියගේ මෙන්ම දරුවාගේ ශක්තිය වර්ධනය කරයි. එයට අමතරව  මුරුංගකායන් නමැති  පාරම්පරික වී වර්ගයේ සහල් වලින් බත් පිස ලබා දුන්නේ යයි ද පැවසේ. එය අවසාන මාස කීපය තුල ආහාරයට එක් කර ගැනීමෙන් දරුවා නිරෝගීව වැඩේ. මවට අවශ්‍ය තර්පණ ගුණය නිතැතින්ම ලැබෙයි.ඕජාව වැඩි කරයි. එසේම ගැබ පහත හෙළිමටද එයින් පහසුවක් වන බව කියා ඇත.
        දරුවා ලැබුණ පසුව මව ද නිරොගීමත්ව සිටිත් නම් දරුවාට කිරි දීමේ අපහසුවක් පැමිණෙන්නේ නැත. නමුත් අද බොහෝ මව් වරුන්ට විවිධ හේතු නිසා කිරි නැත. පැරණි මව් වරු මේ අවස්ථාවේ දී විවිධාකාර අත් බේත් සහ කෂාය වර්ග ප්‍රයෝග කර ගත්හ. හාතාවාරිය අල ආඩාතෝඩ මුල් කලු උක්දඬු ඉරමුසු  බැබිල කිරි අඟුණ මුල් වැල්මී අදී ඖෂධ පළමක් ගෙන පත අට එකට සිඳුවා සීනි  මීපැණියෙන් දීම එක් ක්‍රමයකි. මේ සියලු ඖෂධ කිරි එරෙන හා තුන් දොස් සමනය කරන බෙහෙත්ය. ඒ අතර වෑවර ගෙඩියක(කුරුම්බා ) ළොඳ බත් මුට්ටියේ වාශ්පයට අසු කර තබා කතා නොකර දීමද කරති.


            අවසාන වශයෙන් ගැබිණියන්ට මෙන්ම කාන්තාවන්ගේ තර්පණයට ඉතා රසවත් පාරම්පරික ආහාරයක් සඳහන් කිරීම මැනවි යයි සිතමි.එය සුදුසු වන්නේ අලස සුවයෙන් ගත කරන කාන්තාවන්ට නොව බෙහෙවින් ක්‍රියාශීලී පුද්ගලයින්ටයි. මෙම ආහාරයට උඩරට පළාත් වල කියන්නේ කිරි රොටී නැතහොත් කී රොටී යනු වෙනි. මුරුංගකායන් හෝ පොලැල්  වැනි වී වර්ගයන්හි හාල් පිටි පොල් කිරිවලින් අනා ස්වල්ප වේලාවක් තබා ඉන්පසු කිරි රොටි කබල ගෙන එයට ආප්ප මිශ්‍රණය වත් කරන පරිද්දෙන් වත් කර පිස ගන්නා මේ රසවත් ආහාරය කෑමට ගන්නේද පිටි හා පැණි මිශ්‍රණයක දවටා ගෙනයි. මේ කිරි රොටි වල තිබෙන වෙනස  නම් රා මණ්ඩි හෝ ඊශ්ට් නොමැතිව පිපීම සිදුවන තාක්ෂණයකින් යුක්ත විමයි.  මේ ලියන දේ සිහි බුද්ධියෙන් විමසා බැලිය යුත අතර ඇතැම් ඖෂධ වර්ග වෛද්‍ය උපදෙස් මත ලබා ගත යුතු බවද මතක් කර සිටිමි.එයට හේතුව එක් එක් පුද්ගලයා අනුව පිළියම් වෙනස් විය යුතු බැවිනි.
අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී.

Post a Comment

0 Comments