Subscribe Us

ගෙදර තියන WiFi Router එක තියන්න හොදම තැන හොයා බලමු.

 



වර්තමානය වන විට Wireless Router එකක් බොහෝ නිවෙස් වල දැකිය හැකි ප්‍රචලිත උපකරණයක් වෙනවා.  වර්තමානයේ ඔබ අපි සියලු දෙනාම නිවසේ භාවිතා කරන බොහෝ උපකරණ smart වනවාත් සමගම ඒ සඳහා එම උපකරණ වලට අවශ්‍ය වන අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා බොහෝ දෙනා හට මෙම Wireless router භාවිතා කිරීමට සිදු වනවා. ඒත් එක්කම බොහෝ දෙනා මුහුණ දෙන ගැටලුවක් තමා හොද signal coverage එකක් ලබාගැනීම.  ඉතින් අද අපි හිතුව wireless router එකේන් හොඳ coverage එකක් ගන්න, Router එක තියන්න හොඳ මොන වගේ තැනක ද කියලා හොයාගන්න  ඔබට වැදගත් වන කරුණු කිහිපයක් ගෙන එන්න. 

මෙතනදී විශේෂයෙන් කියන්න ඕන කාරණයක් තියෙනවා.  ගෙදර තියෙන wireless router එක හොඳ තැනක තිබ්බ කියලා internet speed එක නම් වැඩි වෙන්නේ නැහැ.  හැබැයි ඒකෙන් ඔයාලට ස්ථාවර,  විශ්වාස දායී  ආවරණ කලාපයක් නම් ලබාගන්න පුළුවන් වෙනවා. හරි එහෙනම් අපි දැන් මොනවද මේ කරුණු කියලා එකින් එක බලමු.


  1.  Wireless Router එක මුළුතැන්ගෙයි නම් තබන්න එපා.

 අපි දන්නවා Wireless router එකකින් නිකුත් කරන්නේ radio signal කියලා. ඒ වගේම තමා ගෙදර තියෙන විදුලි උපකරණ වලින් ගොඩක්ම තියෙන්නෙ මුළුතැන්ගෙයි .  ඒක අපි මෙහෙම කිව්වොත් වඩාත් නිවැරදියි. සීමිත ඉඩ ප්‍රමාණයක වැඩිපුරම විද්‍යුත් උපකරණ තියෙන්නෙ මුළුතැන්ගෙයි. විශේෂයෙන්ම මයික්‍රෝවෙව් අවන් එක ෆ්‍රිජ් එක වගේ උපකරණ වලට අමතරව ගොඩක් ලෝහමය මතුපිටවල් සහිත භාණ්ඩ  විශාල ප්‍රමාණයක් මුළුතැන්ගෙයි තියෙනවා. ඉතින් මේ කාරණා හේතු වෙනවා WIFI router එකක Signal Strength එක අඩු කරන්න. මොකද කිව්වොත් මයික්‍රෝවෙව් අවන් එකත් වැනි උපකරණය භාවිතා කිරීමේදී නිකුත් කරන තරංග වලින් වයිෆයි රවුටරයක කින් නිකුත් කරන තරංග වලට බාධා පැමිණෙනවා. ඒ වගේම තමා ගොඩක් ඇලෙන සුළු දේවල් එතකොට තෙල් වර්ග Kitchen එකේ කටයුතු වල දී භාවිතා කරනවා.  ඉතින් මේ වගේ දෙයක් රවුටර් එක මත හැලුනොත් සිග්නල් Strength  එකට මෙන්ම රවුටර් එකටත් අලාභ හානි සිද්ධ වෙන්න පුළුවන්.


  1. පුළුවන් තරම් නිවසේ මැදට වෙන්න තැනක  Wireless Router එක තියන්න.

Wireless Router එකකින් signal හැම දිශාවකටම විහිද වනවා.  ඒ නිසා Router එක පුළුවන් තරම් නිවස මැදට වෙන්න තියන්න.  එතකොට නිවස ඇතුලත වැඩි ඉඩ ප්‍රමාණයක් ආවරණය කරගන්න පුළුවන් වෙනවා.   හිතන්න ඔබ රවුටර් එක තියලා තියෙන්නෙ ජනේලයකට කිට්ටු වෙන්න කියලා. එතකොට signal වලින් වැඩි ප්‍රමාණයක් ජනේලයෙන් එහෙම නැත්තං නිවසින් එළියට යනවා කිසිම ප්‍රයෝජනයක් නැතිව.  ඒ වගේ අවස්ථාවක ඒකෙ තව අතුරු අනතුරක් විදිහට අසල්වැසියන්ට ඔබේ රවුටරෙන් නිකුත් කරන සිග්නල් භාවිතා කළ හැකි වෙනවා. ඔවුන් ඔබේ wireless network එකට ඇතුළු වන password එක දන්නවනම් ඔවුන්ට නිවසෙන් එලියට විහිදෙන signal හරහා ඔබේ අන්තර්ජාල පහසුකම භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.

 

  1. පුළුවන් තරම් බිත්තිවලට දුරින් Wireless Router එක තියන්න.

ඔබ දැනටමත් දන්නවා වෙන්න පුළුවන් බිත්ති හරහා wireless signal ගමන් කරනකොට  එම signal වල ප්‍රබලතාවය අඩු වෙනවා කියන කාරණය. ගොඩක් ඝනකමින් වැඩි බිත්තියක් නම් ඒ හරහා signal ගමන් නොකිරීමට ද ඉඩකඩ තියෙන්න පුළුවන්. මෙහෙම වෙන්නේ බිත්තිවලින් මෙම radio signal යම් ප්‍රමාණයක් උරා ගන්නා නිසා.  ඉතින් ඒක නිසා ඔබේ රවුටරය බිත්තිවලට ගොඩක් ලං වෙන්න තියන්න එපා.


  1. පුළුවන් තරම් රවුටරය ආවරණය නොවන විදියට තියන්න.

 අපි ගොඩක් වෙලාවට කරන දෙයක් තමා router එක තියන්නේ පොත් රාක්කයක් ඇතුලට වෙන්න,  එහෙම නැත්නම් සෝෆා එකක් පිටිපස්සේ.  එහෙම රවුටර් එක ආවරණය වන තැනක තිබ්බහම එයින් නිකුත් කරන signal වල ගුණාත්මක බවට හානි වෙනවා. ඒවගේම router එකකින් ආවරණය කරන්න පුළුවන් ප්‍රදේශය අඩු වෙනවා. ඒක නිසා router එක පුළුවන් තරම් එළිමහන් තැනක තියන්න. 


  1. router එක බිම තියන්න එපා.

 බොහොමයක් දෙනා නොදැනුවත්කම නිසා කරන දෙයක් තමයි router එක ගෙදර බිම තියෙන එක.  ඉතින්  මේකෙන් වෙන්නේ router එකෙන් මුදාහරින signal වලින් වැඩි ප්‍රමාණයක් පොළොවට උරාගන්න එක. එමගින් නැවතත් ඔබගේ router එකට ආවරණය කළ හැකියි කලාපය සීමා වෙනවා.  ඉතින් router එක පොලොවෙ ඉඳන් අවම වශයෙන්  අඩියක්වත් උසින් තියන්න උත්සාහ කරන්න.


  1. මාලු ටැංකියක් ළඟ / කණ්ණාඩියක් ලඟ Router  එක තියන්න එපා.

 මේ කාරණය කිව්වම ඔබට පුදුමත් හිතෙයි.  මාළු ටැංකි සහ කණ්නාඩි එක්ක නම් router එකට වැඩි මිතුරු කමක් නැහැ.  router එකක් මාළු ටැංකියක් ලැබීමෙන් ස්ථාවර සහ විශ්වාසවන්ත සේවාවක් ලබා ගැනීමට ඔබට අසීරු වෙනවා.  ඒ වගේම තමා කණ්නාඩි වලින් ද router එකකින් නිකුත්කරන signal පරාවර්තනය කරන නිසා ඔබගේ සබඳතාවයට බාධා  ඇතිවෙන්න පුළුවන්. 


ඉතින් ඔයාලගේ ගෙදරත් තියන රවුටර් එකෙන් ඔයාලා බලාපොරොත්තු වන ප්‍රමාණයට සේවාවක් ගන්න බැරි නම් සමහරවිට ඒකට හේතුව ඉහත කියපු කාරණාවලින් එකක් හෝ කිහිපයක් වෙන්න පුළුවන්. ඒත් දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා ගෙදර රවුටර් එක කොයි වගේ තැනකද තියන්න ඕනි කියල. මෙච්චර දවස් ගෙදර තියන router එකෙන් ආවරණය වන ප්‍රදේශය ගැන ප්‍රශ්න තිබුන ඔබටත් ඉදිරියේදී router එකක් භාවිත කරන්න බලාපොරොත්තු වෙන ඔබටත් තම නිවසේ කොයි වගේ තැනක රවුටර් එක තියන්න ඕනෙද කියලා අදහසක් එන්න ඇති. 

තවදුරටත් මේ ගැන ඔබට ප්‍රශ්න තියෙනවා නම් පහතින් කමෙන්ට් එකක් දාන්න.. හැකි ඉක්මනින් ඒ සදහා විසදුම් අපි ඔබට ලබා දෙන්නම්.


තවත් ලිපියකින් හමුවන තෙක් ඔබට ජය !!





Post a Comment

0 Comments