Subscribe Us

Network Cabling හිදී සිදුවන පොදු අත්වැරදීම් 9ක් ....


 පරිගණක ජාලගත කිරීම එහෙමත් නැත්නම් computer networking හි එක් ප්‍රධාන අංගයක් වන්නේ network cable ඇදීමයි. User end එකේ ඉදන් switch දක්වා cable ඇද ඒ හරහා උපාංග එකිනෙකට සම්බන්ධ කිරීම මෙහිදී  සිදුවෙනවා. කේබල් පිළිවෙලකට ඇදීම,  ඒවා Panel එකට ගෙන විත් නිසියාකාරව නැවැත්වීම  සහ ඒවා හදුනා ගැනීම සඳහා ලේබල් කිරීම යන කාරණා ප්‍රධාන වශයෙන් මෙහිදී සිද්ධ වෙනවා. ඊට අමතරව ප්‍රායෝගික මට්ටමේ දී මෙතන සදහන් නොකරපු ගොඩක් කාරණා සම්බන්ධව අවධානය සිදු කිරීමට අපට සිද්ධ වෙනවා.  බැලූ බැල්මට බොහොම සරල කාරණයක් කියලා හැමෝටම පෙනුනත්, වැඩි අවධානයක් දිය යුතු නැති අංගයක් විදිහට හිතුනත් මෙම  ක්‍රියාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී  එය කෙතරම් බරපතළ කටයුත්තක් ද කියලා ඔබට  වැටහේවි.  ඒ කෙසේ වුණත් සමහර වෘත්තිකයන් පවා මෙම කාරණාව නොසලකා හැරීම එහෙමත් නැත්නම් නිසි අවධානයක් නොදීම නිසා කෙටිකාලීනව සහ දීර්ඝ කාලීනව බොහෝ අපහසුතාවන්ට සහ අමතර වියදම් දැරීමට ආයතන වලට සහ පරිපාලකයන්ට සිදු  වනවා.


 අද මේ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ network cabling  කිරීමේදී එසේ ඔබ අප සියලු දෙනා සමහර අවස්ථාවන්හිදී නොසලකා හරින එහෙත් ඉතාමත් වැදගත් කාරණා 9ක්  සම්බන්ධවයි.


  1. Cable management එහෙම නැත්නම් කේබල්  පරිපාලනය  නොකිරීම. 

ගොඩක් ප්‍රශ්න වලට මූලික හේතුව වන්නේ  මෙයයි. ඔබ කේබල් manage නොකරන්නේ නම් හෝ කේබල් එලීමෙන් පසුව ඒවා අදාල points සහ patch panel වලට සම්බන්ධ කිරිමෙන් පසුව ඒවායේ ගුණාත්මක බව පරික්ෂා කරන්නේ නැතිනම් ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵල එවැනි පද්ධතියකින් ලබා ගැනීමට අසීරු  වනවා.  මනාලෙස cable manage කළ සහ points හදුනා ගැනීමට පහසු වන පරිදි ලේබල් කර ඇති  පද්ධතියකදී, කිසියම් ප්‍රශ්නයක් පැන නැගුනහොත් එයට විසඳුම් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. 

  1. සැලසුම් සහගත නොවීම.

කුමක් හෝ කාර්යයක් සාර්ථකව නිම කර ගැනීමට අවශ්‍ය නම් එය ආරම්භ කිරීමට පෙර මනාව සැලසුම් කරගත යුතු වනවා. එම කාරණාව ඒ විදිහටම මෙහිදීද බලපානවා.  සියලු කාර්යයන් ආරම්භ කිරීමට පෙර එම ස්ථානය හොඳින් පරීක්ෂාකර කුමන උපාංගය කුමන  ස්ථානයේ ස්ථාපනය කළ යුතුද, එමඟින් තමන්ට  කුමන ආකාරයෙ වාසි ලබා ගත හැකිද සහ එමගින් පද්ධතිය යේ කාර්යක්ෂමතාව කෙසේ ඉහල නංවා ගත හැකිද  යන්න පිලිබදව අවදානය යොමු කිරීම වැදගත් වනවා.


  1. නීති රීති නොසලකා හැරීම.

Network cabling  කිරීමේදී මූලික නීති ( උදාහරණයක් විදියට කිව්වොත් කේබල් ක්ලිප් කිරීමේදී කලර් කෝඩ් එක ගැන සැලකිලිමත් වීම)  වගේම රීති ද බොහෝමයක් තියෙනවා.  සමහර පුද්ගලයන් මෙම නීති රීති අනුගමනය කිරීමෙන් වළකින නිසා පසුව එම පද්ධතියේ හටගන්නා දෝෂ නිරාකරණය ට යෑමේදී නොහිතන ගැටලුවලට මුහුණ දීමට සිදුවනවා. එමනිසා network cableing සදහා ඇති නීති රීති ගැන දැනුවත් වී ඒවා අනුගමනය කිරීමට මතක තබා ගන්න. 


  1. ස්ථානය පවතින පාරිසරික තත්ත්ව පිළිබඳ අවධානය යොමු නොකිරීම.

 ඔබ යම්කිසි ස්ථානයක  පරිගණක ජාලයක් ස්ථාපනය කරන්නේ නම් එම ස්ථානයේ  පවතින පාරසරික තත්ත්වයන් සඳහා අවධානය යොමු කළ යුතු වනවා. උදාහරණයක් ලෙස ගත්විට ඔබගේ network cables නිතර රත් වීමකට භාජනය වෙනවා නම් ඔබගේ පරිගණක පද්ධතියේ කාර්යක්ෂමතාවය ඉහළ ලෙස බිඳ වැටෙන්නට හැකියි. තවත් එක් කාරණයක් තමා මෙම කේබල් තෙතමනය සහිත ස්ථාන හරහා ගමන් කරන්නේ නම් එමගින් ද පදධතියේ දෝෂ හට ගන්නට පුළුවන් අතර එම ස්ථානයේ සේවය කරන පුද්ගලයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට ද තර්ජනයක් වීමේ හැකියාවක් තියෙනවා. 


  1. දුර පරතරය  ගැන අවධානයක් යොමු නොකිරීම.

මෙම ක්ෂේත්‍රයේ වැඩ කරන හැමෝම වගේ දන්න කාරණයක් තමයි "සාමාන්‍යයෙන් නෙට්වර්ක් කේබල් එකක් එලිය හැකි උපරිම දුර එහෙම නැත්නම් උපාංග දෙකක් අතර පරතරය  උපරිම මීටර් සියයකට වඩා අඩු වියයුතුයි" කියන කාරනය. හැබැයි ගොඩක් වෙලාවට ප්‍රයෝගික මට්ටමේදී මෙම පරතර 80m විතර වෙනවා. හැබැයි මේක හැම කේබල් වර්ගය සඳහාම  එක වගේ බලපාන්නෙ නෑ. cat6 cable එකක් පාවිච්චි කරනවා නම් එලිය හැකි දුර සහ cat 6e හෝ cat7  cable එකක් පාවිච්චි කරනවා නම් එලිය හැකි දුර අතර වෙනස්කම් පවතිනවා. එම නිසා තමන් පාවිච්චි කරන cable වර්ගය අනුව එලිය හැකි උපරිම දුර ගැන අවදානය යොමු කල යුතු වනවා. 


  1. සම්බන්ධතාවයට බාධා පැමිණිය හැකි උපකරණ ගැන අවධානය යොමු නොකිරීම.

 බොහෝ දෙනෙක් දන්න කාරණාවක් වන්නේ උපාංග දෙකක් අතර network cable එකක් හරහා සම්බන්ධතාවක් පවත්වා ගැනීමේදී, එම උපාංග අතර පණිවිඩ හුවමාරුව සිද්ධ වන්නේ ඉතා කුඩා විදුලි ධාරාවක් යොදා ගෙන කියන කාරණාව .  ඉතින් මෙම කුඩා විදුලි ධාරාවට ප්‍රබල විදුලි ධාරාවකින් එහෙම නැතිනම් ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයකින් බාධා ඇති වන්නට පුළුවන්. ඒක නිසා කේබල් අදිනවිට ඒ cable වල ගමන් මාර්ගය ගැන හැකි තරම් සැලකිලිමත් වන්න. හැකි තරම් බාධක අඩු මාර්ගයක් cable ඇදීමට තෝරාගන්න.


  1. අවශ්‍යතාවයට අනුව cable අයින් කිරීමට ඉඩ  නොතිබීම.

අපි හැමෝම දන්න කාරණයක් තමයි IT Industry එක ඉතා ඉක්මනින් වෙනස් වෙනවා කියන එක.  ඒ වගේම තමා ආයතනයක් තුළ පරිගණක සහ උපාංග භාවිතා කිරීම ඉහළ යාම,  කෙටි කාලයක් තුළ අලුතින් පරිගණක පද්ධතියට එකතු වීම  සහ භාවිතය වැඩි වීම යන කාරණාත්.  ඒ වගේම හැම ආයතනයකටම පොදු දෙයක් තමා කාලෙන් කාලෙට උපාංග පිහිටි ස්ථාන වෙනස් කිරීම. මෙම වෙනස්වීම් වලට අපට නිශ්චිත කාලයක් උපකල්පනය කරන්න බැහැ.  ඉතින් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමා ඉදිරියේ ඇතිවන වෙනසකදී දැනට පවතින network points වල වෙනසක් උනොත් එහෙම නැතිනම් එම points වෙනස් ස්ථානවල පිහිටවන්න සිද්ධ වුනොත්,  දැන් භාවිතා කරන කේබල් පහසුවෙන් සහ ඉක්මනින් ඉවත් කළ හැකි පරිදි ස්ථානගත කර තිබීම.  මොකද මේ භාවිතා නොවන කේබල් ඉවත් නොකර, භාවිතා කරන කේබල් සමග තිබීමෙන් පසුකාලීනව ඇතිවන දෝෂ පරීක්ෂා කරන විට එම සම්බන්ධතා නැති කේබල් බාධාවක් විය හැකි නිසා.


  1. Electrical cable, network cable සමග සමාන්තරව ස්ථාපන කිරීම/ එලිම. 

වැඩි දෙනෙක් අවධානයක් නොදෙන කාරණයක් තමයි මෙම කාරණය.  සමහරු ලේසිය නිසා network cable,  electrical කේබල් එක්කම අවශ්‍ය point වෙත රැගෙන යාම කරනවා. ඒත් මම කලින් සදහන් කළා වගේම ප්‍රබල විදුලි ධාරා වලින් පරිගණක ජාල පද්ධතියේ කාර්යක්ෂමතාවයට බලපෑම් ඇති කරනවා. විශේෂයෙන්ම electrical cable සමග වැඩි දුරක් ඒ හා සමාන්තරව network cable ගමන් කිරීම නිසා network cable හරහා සංසරණය වෙන දත්ත  වල ගුණාත්මක භාවයට හානියක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම දත්ත විකෘති වීමක් ද සිදු වෙන්න පුළුවන්. 


  1. Live run යාමට ප්‍රථම test run එකක් සිදු නොකිරීම.

 ඉහත  සදහන් කළ හැමදේම වගේම මෙම කාරණයත් ඉතා වැඩි අවධානයක් දිය යුතු වැදගත් කාරණයක් වෙනවා.  හැමදේම නිසියාකාරව සිදු කරත්,  පරිගණක පද්ධතිය ස්ථාපනය කිරීමෙන් පසුව අනිවාර්යයයෙන් නැවත වරක් පරීක්ෂාකර බැලීම සිදු කළ යුතු වෙනවා.  මෙමගින් ඔබට මගහැරුනු යම් දෙයක් වේ නම්, යම් නිවැරදි කිරීමක් අවශ්‍ය වේ නම් ඒ සඳහා අවස්ථාව සැලසෙනවා.


ඉතින් මම හිතනවා මෙම කරුණු මෙම ක්ෂේත්‍රයේ නියැලිලා ඉන්න ඔබට වගේම මෙවැනි සේවාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඔබට වැදගත් වෙයි කියලා.  තවත් මෙවැනිම වැදගත් ලිපියකින් ඔබ හමුවීමට බලාපොරොත්තු වන අතර අදට සමුගන්නවා.


 ඔබට ජය!!! 



Post a Comment

0 Comments